උසස් පෙළ ව්‍යාපෘතිය ගැන මතකයන්..

පාසල් කාලය සුන්දරයි. නමුත් ඒ කාලයේ කල කී සියලු දේවල් ජීවිතය පුරාම මතක තියේවි. හදිසියේම පාසලෙන් ඉල්ලාසිටි උසස්පෙළ කණ්ඩායම් ව්‍යාපෘති වාර්තාව සාදා අද නිම කර ලබා දුන්නා. ඒ නිසා ඒ ගැන මතකයන් අලුත්වුන වෙලාවෙ ඒ ගැනත් සටහනක් ලියන්න හිතුනා.



සෑම උසස්පෙළ පන්තියක්ම කල යුතු කණ්ඩායම් ව්‍යාපෘතිය හැමෝම කරන්න තීරනය කලා‍. ඒත් මොකක් කරන්නද කොහොම කරන්නද කියල අපේ පංතියෙ සෙට් එකට හරි හැටි අවබෝධයක් නෑ. අනිත් අය වගේ බැම්මක් හදනවද, බිත්ති වල ආදර්ශපාඨ අඳිනවද, එහෙමත් නැත්තම් පඩිපෙල් වල යන එන පැත්ත පේන්ට් කරල ශේප් වෙනවද, බෝඩ් එල්ලනවද ඔය වගේ ගොඩක් දේවල්. ඒත් සෙට් වුන කොල්ලො ටිකට ඔය එකක්වත් හිතට ඇල්ලුවෙ නැ.. ඒ මදිවට ගෑනු ළමයි ටික කියනව මල් පෝච්චි තියමු, ඔසු උයනක් දාමු...... කෝලං කෝටියයි වලි ගොඩයි. ;) ඒ අස්සෙන් ලස්සන පොකුනක් හදමු කියල යෝජනාවක් ආව. මේ අදහසට අලුතෙන් කෑලි එකතුවෙලා ලක්ෂගානක වැඩක් වෙන්න වැඩි වෙලාවක් ගියෙ නැ.

"ලස්සන මියුරල් එකක් හදමු, ඒකට පොකුනකුත් දාමු"

"එහෙම දානවනම් වතුර මලකුත් දාමු. නැත්තං වැඩක් නැ බං. අනිත ආට්, සයන්ස් වලට සෙකන්ඩ් වෙන්නත් බැ බං"

"ඔවු ඔවු කරන එක සුපිරියටම ඉස්කෝලෙම හෙල්ලෙන්න කරන්න ඕන"

ඔය කතාව අස්සෙ ‍කෙල්ලො ටික වලියකට සූදානම්
"එහෙනම් උඹල භුමිකම්පාවක් කරපල්ල එතකොට හෙල්ලෙයි "

"ඇයි සුනාමියත් හොදයි නේද ??"

කොලගුලි උණ්ඩ සමගින් ජල ප්‍රහාර දියත් විය.  කේස් ගොඩයි. ඒ ගැන Project Periods කීයක් කතා වෙන්න ඇතිද ? වෙන Periods කීයක් කට් වෙන්න ඇතිද ?? කාටවත් ගානක් නෑ. ප්‍රොජෙක්ට් පිස්සුව හැමෝටම.

කොහොම හරි කට්ටිය කතා වෙලා පොකුනෙ වැඩේ ස්ථිර කරගත්ත. ඒත් ඉතින් කට්ටියට මදි වගේ
" පොකුනක් හැදුවට පේන්නෙ නැ බං, ඕකට පොළව හෑරැවට එබිල බලන්න එපැ. "

" එහෙනම් මියුරල් එකකුත් දාමු.. "

"මියුරල් දැම්මට ඉස්සරහ විතරයිනෙ මචං. පිටිපස්සෙන් බැලුවම තාප්පයක් ගැහුව වගේ අනික පාසලට ඇතුල්වෙන තැන මල් රවුම මැදින් කරනවානම් ඔය බිත්තිය කේස් !!"

"එහෙනම් අපි මොකක් හරි ප්‍රතිමාවක් ගෙනත් තියමු"

"අර සමහර තැන් වල තියෙන්නෙ ලස්සන ගර්ල් කෙනෙක් කලේකින් පොකුනට වතුර දාන සීන් එකක්. ඒ වගේ එකක්"

"උඹල හීන දැකපල්ල කවුද ඕවට සල්ලි දෙන්නෙ.. කියන්නනම් ලේසියි පොඩ්ඩක් නැගිටල පියවි ලෝකෙට වරෙල්ල බං"

"මලා.. ඒ කතාවත් ඇත්ත. හරි ඒ ගැන හොයමු අද දවසෙ. අපි හැමෝම දන්න අයගෙන් විස්තර අහගෙන ඇවිත් හෙට කතා කරමු. යමන් අන්න ආට් එකේ උන් මැච් එකක් සෙට් කරල. ගිය පාර වගේ මේ පාරත් කාල එමු."

බැනුම් කෝටියකි.. තවත් අභ්‍යන්තර ගැටුමකි. කළා වාණිජ ක්‍රිකට් තරඟාවලියෙන් කලා පිල ජය ගත්තේ නරඹන යහලු යෙහෙලියන්ගේ අත්පොලසන් හඬ මැද්දේය. සුපුරැදු පරිදි කෑමකි. ආර් පන්ති 3කි අපේ වාණිජ කොල්ලන් 16 පමණි‍.

දින කීපයකින් කට්ටිය ආයෙත් කතා වෙලා ගොඩක් දේවල් ගැන හිතල තීරනය කලා සරස්වතී පිළිමයක් සහ පොකුණක්, කුඩා ජල මලක් ඉදිකරන්න. ගුරැතුමියගේ නොමද සහය මැදින් අරමුදල් සම්පාදනය ගැන කතා වන්නට විය.
"බුක් මා(ර්)ක් ටිකක් ගහමු බං. අනික ඉතින් ධම්මිකගෙ ප්‍රෙස් එකෙන් කරන්න පුලුවන්නෙ."

සියලු දෙනාගේ කැමැත්ත පරිදි බුක් මා(ර්)ක් ඩිසයින් කිරීම නුවන් (ගීත්) ට පැවරිනි.
"ඒකත් හොද අදහසක් බං, ඒත් පිළිමෙ හදන මෑන්ට හෙන ගානක් දෙන්න වෙයි. "

"හරි එයාට අසූවක් යයි කියමුකො. සිමෙන්ති, ගල්, වැලි තව කොච්චර දේවල් තියද ??"

"මේක කරන්න පුලුවන් මගුලක් නෙවෙයි බං අපිත් සයන්ස් එක වගේ මොකක් හරි පොඩි දෙයක් කරමු. කරල ශේප් වෙමු බං"

"අපෝ බං ඔහොම කතා කරන්න එපා. කරන දෙයක් ඉස්කෝලෙටනෙ මචං.. හොද දෙයක් කාලයක් පවතින දෙයක් කරල යං බං"

"හම්....."

මේ දිනවල පාසල් පාර්ලිමේන්තුවේ උනුසුම දැඩිව දැනෙන්නට විය. මෙයින් වැඩක් ගන්නට සිදූ අප නැවතත් කතාව ඇරඹුවෙමු.
"මුන් සල්ලි දෙයිද බං"

"හරි අපි ෆිල්ම් එකක් පෙන්නමු."

"ෆිල්ම් පෙන්නල මක් කරන්නද වැඩි ගානක් හොයාගන්න බැරි වෙයි බං"

"හිටපංකො කියනකං, අපි ඒකට ඡන්දෙ ඉල්ලන උන්ගෙන් දැන්වීම් ගමු. අරගෙන අර ටීවී එකේ වගේ දාමු. එතකොට උන්ගෙනුත් ගානක් හොයාගන්න පුලුවන්"

"එළ.. මොලේ තමා මොලේ.." පන්තිභාර ගුරැතුමියගේද අනුමැතිය ලැබුන අතර විදුහල්පති තුමාගේද අනුමැතිය ගෙන පරිගණක කාඹරයෙන් වෙළඳ දැන්වීම් භාරගන්නා බවට කුඩා දැන්වීමක් සාදා විදුහල්පති තුමාගේ අත්සනින් අනුමත විය.

"‍කොහෙන්ද ප්‍රොජෙක්ටරයක් ??" "ඉස්කෝලෙ එක නම් රෙපෙයාර් වලට යවන්න දැම්ම මචං ඒක තාම ගෙනියන්න ආවෙත් නැ ඉස්කෝලෙන් ගෙනිච්චෙත් නැ."

ඒ තොරතුරැ තාක්ෂන ඒකකයේ සභාපති නුවන් ගේ හඩයි
"රෙන්ට් එකට ගමු."

"හරි එහෙනම් මේ වාරෙ අන්තිම විභාග ඉවරවෙලා දවසක් ප්‍රින්සිපල් එක්ක කතා කරමු"

"සර් ඉන්නවද ??"

"ඔවු දැන් ටිකකට කලින් පොඩිවුන් ටිකකට ලන්ච් එක දුන්න."

"හික් හික් පවු බං"

"හා හා යමංකො ඔපිස් එකට කවදද විභාග ඉවරවෙන්නෙ කියල කතා කරගන්න."

******************************



එයත් ස්ථිර විය. මේ අතර ගැහැණු ළමුන් වෙනම ව්‍යාපෘතියක් කල යුතුයැයි තීරනයක් ගෙන ඒ ගැන ඔවුනගේ කතාබහට ලක් විය. අප මිතුරාගේ පියාගේ මුදල් පරිත්‍යාගයෙන් නැවත විකුනා ලැබෙන මුදලින් ණය බේරන පොරොන්දුවෙන් බුක් මා(ර්)ක් මුද්‍රනය විය.  ඩිසයින් මගෙන් ය. සඳදා දින රැස්වීමේදී විදුහල්පති තුමාගේ නිවේදනයෙන් අලෙවිය ආරම්භ විය.


කාලච්ඡේද කීයක් නාස්ති වෙන්න ඇත්ද ?? කොච්චර විනෝද වෙන්න ඇතිද ?



පාසලේ, නගරයේ, පෞද්ගලික පන්ති වල බුක් මාර්ක් විකිනීමට පිරිමි ළමුන් භාර ගත්තේය. ගැහැනු ළමුන් වෙත පැවරැනු කාර්යය වූයේ තම ගමේ, ය‍හලු යෙහෙලියන් අතරේ බුක්මාර්ක් අලෙවි කිරීමය.


පිරිමි ළමුන් පෞද්ගලික පන්තිවල විකිනීමට, නගර කිහිපයක විකිනීමට ගියහ.. සැවොම කැපවී දායකත්වය ලබා දුන්නේය.


දින කිහිපයකින් පරික්ෂා කල පසු සැලකිය යුතු ප්‍රමානයක් අලෙවි වී නැති බව හැඟී ගියේය. තවත් ගැටලුවකි. සැමගේ යෝජනා වලින් අසල පාසල් වෙතද බුක් මා(ර්)ක් යොමු විය. ඒ අතර පාසල් දින කිහිපයක් ගම්මාන, නගර වෙත, මන්ත්‍රීවරැ, ධනවතුන්, ව්‍යාපාරිකයින් ආදී සැමගෙන් ආධාර එකතු විය. බුක් මා(ර්)ක් ද අලෙවි විය. මේ ගමන් වලට පන්තියේ ගුරැතුමියන් සමග ගැහැනු/පිරිමි සියලු ළමුන් බෙදී ගියහ.


නමුත් සෑහීමකට පත් විය හැකි තරම් අරමුදලක් රැස් කරගැනීමට නොහැකි විය. වාර අවසානය ළඟා විය. වාරාවසාන විභාගයට මුහුන දුන් අපගේ මීලඟ ඉලක්කය චිත්‍රපට සංදර්ශනයයි. G-Force නම් ත්‍රිමාන චිත්‍රපටය හා Shaolin Soccer නම් චිත්‍රපටය ද සංස්කරනය කොට දැන්වීම් ඇතුලත් කිරීමේ කාර්යය මාහටම පැවරුනි. නමුත් මහන්සි වීමට සිදුවූයේ නෑ. හේතුව අප පාසල් පාර්ලිමේන්තු මන්ත්‍රී වරැන්ගේ දැන්වීම් නොලැබීමයි.




"දැන් නම් චාටර් වීගෙන එන්නෙ කොල්‍ලනේ.."


"ඔවු ඔවු. චා වෙන්න බෑ බං අපේ පන්තියෙ මන්ත්‍රිතුමාගෙ ඇඩ් එකවත් දාමු. උගෙන් සල්ලි ගන්න පුලුවන් යැ."



අවසානයේ ඔහුගේ දැන්වීම චිත්‍රපට වලට එක් විය. Multimedia Projector එකක් ලබා දීමට පෞද්ගලික පරිගණක පන්ති පවත්වන ස්ථානයකින් එකඟ විය.


දර්ශනයට පෙර දිනයේ හවස සිටම ප්‍රධාන ශාලාව සූදානම් වූයේ අප අතිනි. එදින හවස ධාරානිපාත වර්ශාව මධ්‍යයේ ඉතිරි වැඩකටයුතු, ශබ්ධ උපකරන, පරිගණකය හා තවත් විවිධ තාක්ෂණික උපකරන කලුවර වන්නට පෙර ගෙන ඒමට හැකි විය. විදුහල්පති තුමාගේ හා මුර සේවක මහතාගේ අවසර ඇතිව ඉතිරි වැඩ නිමකිරීමට සිසුන් කිහිපදෙනෙක් පාසල් ප්‍රධාන ශාලාවේ රැඳිනි. මහ වැසි මධායේ ශාලාව පිලියෙල කෙරිණි. රාත්‍රී 1 පමණ වන විට වැඩ අවසන් වූ හෙයින් සියල්ල පරික්ෂාකර නින්දට ගියේ නොනවතින ධාරානිපාත වර්ශාව මධ්‍යයේය.


පසුදා උදෑසන වන විට වර්ශාව අවසන්ව තිබුනත් පෙ.ව. 6 ට පමන නොසිතූ අන්දමින් විදුලි බලය ඇනහිටියේය. විදුලි උත්පාදක යන්ත්‍රයක් ගෙනා නමුත් එයින් විදුලි බලය ප්‍රමානවත් ‍නොවිය. Multimedia Projector අයිතිකරැ පැමිණ බලා සිටී.




"මචං දැං මොකද කරන්නෙ බං. ටිකට් ගත්ත අය බලාන ඉන්නව. අදනම් ලයිට් එන්නෙ නැ..."


"මොනව කරන්නද... මුන්ගෙ ගමේ මරණාධාර සමිතියෙ ජෙනිය ගෙනාවනම් කරන්ට් එක ඇතිවෙයි."



ගුරැතුමියගේ අවසර මධ්‍යයේ එයද සිදුවිය. පළමු දර්ශනය තිරගත වීමට බොහෝ ප්‍රමාද වූ නිසා දෙවන දර්ශනයට සිසුන් සුලු පිරිසක් සහභාගී වී සිටිනු දැකගත හැකි විය.


සමස්ථයක් වශයෙන් පියවර අසාර්ථක වූ බව පෙනී ගියහ. බලාපොරොත්තු වූ පරිදි අරමුදල් රැස් කරගැනීමට නොහැකි විය.


නැවතත් ඉතිරිවී තිබූ බුක් මා(ර්)ක් විකිනීම ආරම්භ කල අතරම අසල පිහිටි පොලිසිය, ගොවිජන කේන්ද්‍රය වැනි රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම ව්‍යාපාරිකයින්, ආදිශිෂ්‍යයින්, පරිත්‍යාගශීලීන් ගෙන් අරමුදල් රැස්කිරීම ඇරඹුනි. මුදල එකතුකිරීමේ හා අනෙකුත් වැඩ වලට පන්තියේ ගැහැණු ළමුන්ගෙන් නොමද සහයක් ලැබුන නිසා ඔවුනද අප ව්‍යාපෘතියට එකතු වූයේ ඔවුන්ගේ ව්‍යාපෘතියද අතහැර දමමිනි.


කෙමෙන් කෙමෙන් ප්‍රමානවත් මුදලක් එක් රැස් වූ හෙයිනුත්, දෙසැම්බර් නිවාඩුවට දින කිහිපයක් තිබෙන නිසාත් දෙසැම්බර් නිවාඩු කාලයේදී ව්‍යාපෘතියේ වැඩ නිම කිරීමට යොදා ගත්තේය.


***********************************



දෙසැම්බර් මාසයේදී වැඩ ආරම්භ විය. කළාකරැවා වැඩ ආරම්භ කලේය. අත්උදවු දීමට අප කිහිප දෙනෙක් සිටියද බොහෝ දිනවල අපේක්ෂා කල පරිදි මිතුරන් පැමිණ සිටියේ නැත. එයින් කම්පා නොවි අප හැකි පමණින් දායකත්වය ලබාදී දෙසැම්බර් මාසය තුල වැඩ නිම කලේ විනෝදයෙන්, අලුත් දේවල් ඉගෙනගනිමින්ය. කලාකරැවාද නියම කොල්ලෙකි. ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය නිම කල තැනැත්තෙකි. එහෙයින් රස කතා බොහෝමයක් ඔහුගෙන් අසා සිනාසුනා මෙන්ම හරවත් දේවල් රැසක්ද දැනගැනීමට හැකි විය. එසේ ඔහුගේ වචනයෙන් අපට කී දෙයක් මෙසේ දක්වමි. මා සිතන ආකාරයට ඔහු මෙම විනාඩි 15කට ආසන්න කාලය තුල අපට පහදාදීමට උත්සාහ කරන්නේ කුමක්ද යන්න ඔබටත් පැහැදේවි.


[audio:http://www.geeth.info/blog/files/audio/dpmv-talk.mp3]
Record 01 (Size: 136 KB, Duration: 2:53)

Record 02 (Size: 578 KB, Duration : 12:20)



  • [2009-12-10 දින ඔහුටත් හොරෙන් පටිගත කෙ‍රැනු මෙහි ශබ්ධ තත්ත්වය නම් එතරම් ගුනාත්මක නැත‍. ]



කෙසේ හෝ ජනවාරි වනවිට වැඩ නිම විය. ඉතිරි වූයේ පොකුණ පමණි. එය එක්තරා බැංකු ශාකාවක් මගින් ඉදිකර දීමට පොරෙන්දු විය. එහි වැඩ ද සතියකින් අවසන් විය.




අද වන විට වසරකට අධික කාලයක් ගෙවී අවසන්ය.. එහෙත් තවමත් ඒ සිද්ධීන් මතක් කරමින්, ඒ ගැන කතා කරමින් අප සිනා සේ.




මෙම ව්‍යාපෘතියේදී අප පන්තියේ සියලුම දෙනා නන් අයුරින් උදවු කලා‍. පන්තිභාර ගුරැතුමිය හා වාණිජ අංශ‍යේ අනෙකුත් ගුරැ මහත්මීන් හා විදුහල්පති තුමන් වන විජේසිරි ගුරැතුමන් විශේෂයෙන්ම උදවු කලා.

මිතුර මිතුරියන් අතර,

මලිත්, සුජීව, දමිත්, බුද්ධික , ධම්මික, පුබුදු, කසුන්, චන්දන, මහේෂ්, නාලක, සුරංග, නුවන්, අශාන්, කුෂාන්, ඔගස්ටින්, දේවින්ද, රැවනි, අවංකා, දිල්හානි, සචිත්‍රා, බුද්ධිකා, වාසනා, නිමාලි, රූපිකා, තිලිණි, රැවන්තිකා, දර්ශා, නිරෝෂා, චින්තා සිටිය.

මේ අය අඩු වැඩි වශයෙන් උදවු කරල පාසලේ මෙතෙක් සිසුන් විසින් කළ වැඩිම පිරිවැයක් සහිත විශාලතම ව්‍යාපෘතිය නිම වුනා. සැමටම සතුටුයි. දැන් අපගේ බලාපොරොත්තුව පාසලෙන් මෙම වර්ෂයේ(2011) ඉවත්වීමට පෙර නැවත වරක් තීන්ත ආලේප කිරීමටයි.





ඉදිකිරීම් අතරතුර‍‍.....


නන් අයුරින් උපකාර කළ සැමට ස්තුතියි෴

Posted in , . Bookmark the permalink. RSS feed for this post.

2 Responses to උසස් පෙළ ව්‍යාපෘතිය ගැන මතකයන්..

  1. එලම එල ! ලස්සන වැඩක් ..... ;)
    Nice work bro !
    and good work too ! :D

    ReplyDelete
  2. එල කිරි වැඩක් මල්ලි. අපිත් උසස්පෙළ කණ්ඩායම් ව්‍යාප්‍රුතියට කළේ දුෂ්කර පළාතක පාසලකට උදව් කරපු එක තමයි. ඒකටත් සල්ලි හොයාගැනීමේ අපහසුවට අපිත් ලක් උනා. නමුත් ආධාර මගින් මුදල්, පොත්පත්, පෑන් පැන්සල්, වගේ දේවල් ගොඩාක් එකතු කළා.

    ReplyDelete

Search

බලගැන්වුම බ්ලොගර් (Blogger) මඟිනි.